Wednesday, May 18, 2011

[Yahalu-Yeheli] පෙළගැසිය යුතු බොදු පිළිවෙත

 

පෙළගැසිය යුතු බොදු පිළිවෙත

සර 2011 වෙසක් පෝය දිනය වන විට සිදුහත් බෝසතුන් සම්බුද්ධත්වය ලබා වසර 2600ක් සපිරෙයි. එම කරුණ නිමිතිකරගෙන 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පිළිවෙතින් පෙළගැසෙන ශ්‍රී ලාංකික බොදු ජනතාව එම කාරණයෙහි ලා ක්‍රියා කරන අන්දම අපි නන් අයුරින් දකිමු. ජාතික, ආගමික, දේශපාලනමය, සංස්කෘතික හා සමාජික වශයෙන් යම් ක්‍රියාදාමයක ඔවුහු දැනටමත් මේ වෙනුවෙන් ක්‍රියාත්මකව සිටිති. 1954 වසරේ 2500 බුද්ධ ජයන්තිය සැමරූ වකවානුවට වඩා අද දියුණුව ඇති මාධ්‍ය ජාලය ද මෙහිලා පෙරමුණ ගෙන සිටී. පිළිවෙත යනු, ප්‍රතිපත්තියයි. එය අනිවාර්යයෙන් ම බෞද්ධ ප්‍රතිපත්තියක් විය යුතු ය.

බොදු ප්‍රතිපත්තියක පරමාර්ථය මෙලොව හා පරලොව යන උභය ලොව තුළ කාර්ය සාධනය හා පරම නිට්ඨාව වු 'නිවන' සාක්ෂාත් කර ගැනීමයි. අද සමාජයේ මෙලොව කාර්යය සාධනය වශයෙන් බහුතරයක් දකින්නේ තාක්ෂණික මෙවලම් හා රසායනික සංයෝගයන් මත වඩා ඉක්මනින් හා පහසුවෙන් තම කාර්යය කර ගැනීමට හැකි නිෂ්පාදිතයන් බිහි කිරීමෙන් හා තම මුදල් පසුම්බිය තර කෙරෙන ඕනෑ ම වැඩපිළිවෙළකට යොමු වීමෙන් ලබන සාධනයයි. එවැනි වැඩ පිළිවෙළකින් මිනිසා ගේ කායික සෞඛ්‍යයේ පිරිහීම සිදු වූව ද ඒ ගැන නොසිතීම ම මිනිසා ආධ්‍යාත්මිකව පිරිහී ඇති සැටි පෙන්වයි. නිදසුනක් වශයෙන් තාක්ෂණිකව සාදාගත හැකි බොහෝ ආහාර පානවල අඩංගු රසායනික සංයෝගවලින් හා රසකාරකවලින් සිරුරට සිදුවන අහිතකර තත්ත්වය පෙන්වා දිය හැකිය.

ආහාර පාන පමණක් නොව, රූපලාවන්‍ය හා සුවඳ විලවුන් සඳහා නිෂ්පාදිත බොහෝ ආලේපවල ද ඇත්තේ සිරුරට අහිතකර තත්ත්වයක් බව ඖෂධවේදීන් සොයාගෙන ඇත. නමුත් සමාජයට ඉන් සිදුවන අහිතකර බව තමා තමාට මෙලොව හා පරලොව ලැබෙන විපාක ගැනවත් ව්‍යාපාරික ලෝකය නොසිතයි. එවැන්නන්ට රැකියා විරහිතව සුසුම්ලන තරුණ පරපුර ද මෙලොව දියුණුව සපයන ආදායම් මාර්ගයකි. රැකියා මවාපාමින් එම අහිංසකයින් රවටා ඔවුන් මුදලකට මෙන් ම අතවරයනට ද ගොදුරුව ලබන චිත්ත පීඩා මත වැජඹෙන හා තෘප්තිමත් වන්නන් දියුණුව යනු කරුණාව, මෛත්‍රිය වැළලී යාම නොවන බව නොදන්නා සේ ය.

ධර්මය හා විනය

සම්බුදු සසුන යනු ධර්මය හා විනයයි. බොදු ප්‍රතිපත්තිය යනු දහමට හා විනයට අනුගත වීමයි. මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛා යන සිව් බඹ විහරණ මේ බොදු පිළිවෙත තුළ පැවැතිය යුතු ය. එදා විසල් මහනුවර පැවැති තුන්බිය දුරලනු පිණිස යොදුන් ගණන් දුර මඟ පා ගමනින් වැඩි ආනන්ද මහ තෙරුන් ප්‍රමුඛ පන්සියයක් රහත් තෙරුන් වහන්සේලා ලොවට පරිත්‍යාග කළා වූ මහඟු දායාදය වූ අමිල වූ තෙරුවන් ගුණ මුසු කළ රතන සූත්‍රය අද මුදලට අලෙවි වන යන්ත්‍ර මන්ත්‍ර බවට පත්ව ඇත. එම රත්න යන්ත්‍ර රාජයා නිවෙසෙහි රඳවා ගැනීමට මිස එම වටිනා ගාථා තුළ අන්තර්ගත තෙරුවන් ගුණ උගෙන ගන්නන්, සිහිකරන්නන් විරලය. පරලොව සාධනය ද සාදාලන සාර්ථක මෙලොව දිවියක් ගත කළ යුතු ආකාරය බුදුන් වහන්සේ සිඟාලෝවාද, මංගල, කරණීය මෙත්ත, ධජග්ග, දස ධම්ම, රාහුලෝවාද සූත්‍රයන්ගෙන් දේශනා කර ඇත. මේ සූත්‍රයන් ඇත්තේ මිහිරිව හා තාලයට සජ්ඣායනා කිරීමට පමණක් යැයි සිතන්නේ නම් එය බලවත මුලාවකි.

සූත්‍ර දේශනා යනු බුදුන් වදාළ සදහම් දේශනා ම ය. ඒවායින් ඵල ලැබුමට නම් තේරුම් දැන උගෙන ඒ අනුව පිළිවෙත් පිරිය යුතු ය. නමුත් ඇස්වහ කටහව දුරලීමට, නඩු හබ දිනවීමට, උණ බැස්සවීමට, සතුරන් මිතුරන් කරවීමට, පුද්ගලයන් වශී කරවීමට, රැකියා ලාභ ලැබ දීමට, විභාග සමත් කරවීමට, හිසේ, බඩේ රුජා දුරලීමට, වමනය, පාචනය නැවැත්වීමට මෙම සූත්‍ර දේශනා යන්ත්‍ර මන්ත්‍ර ලෙස යොදාගෙන ඉන් මුදල් උපයා ගන්නන් බහුල ය. සම්මා සම්බුදුන් වහන්සේ සාරා සංඛෙය්‍ය කල්ප ලක්ෂයක් අනේක දුක්විඳ පෙරුම් පිරූයේ මෙබඳු වෙදකම්, ගුරුකම්, කට්ටඩි කම් ලොවට ප්‍රදානය කිරීමට යයි සිතන්නේ නම් එය සාවද්‍ය ය. එවන් දෑ කිරීමට නම් බුදු විය යුතු නැත. සාරා සංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතු නැත. අදාළ විෂයන් හා ශාස්ත්‍ර හදාරා එම තනතුරු ලබාගත හැකිය. තථාගතයන් වහන්සේලාට අවශ්‍ය වන්නේ තම ශ්‍රාවකයන් මහත් බිය ඇති සංසාර ඕඝයෙන් මුදවීමට හෙවත් නිර්වාණය සාක්ෂාත් කර දීමට බව,

බුද්ධෝ හං බෝධයිස්සාමි – 
මුත්තෝ හං මෝචයේ පරේ
තින්නෝ හං තාරයිස්සාමි - 
සංසාරෝඝා මහබ්භයා

යනුවෙන් තථාගත තත්ත්වයට පත්වන සෑම බෝසත්වරයෙකුගේ ම අධිෂ්ඨානයෙන් පෙනී යයි. මෙහි පළමු සඳහන් කළ සූත්‍ර පරිදි මෙලොව දියුණුව සඳහා ද විශේෂිත සම්මුති දේශනා රැසක් යම් යම් අයගේ විමසීම් මත බුදුරදුන් විසින් දේශීත ය.

දියුණු වීමේ ක්‍රම

සත් හැවිරිදි දරුවකු විසින් විමසන ලද දියුණු වීමේ ක්‍රම මොනවාද යන පැනයට.

ආරෝග්‍යා මිච්ඡේ පරමංච ලාභං - 
සීලංච වුද්ධානු මතං සුතංච
ධම්මානු වත්තීච අලීන තාච - 
අත්ථස්සද්වාරා පමුඛා චලේථ

යනුවෙන් නිරෝගී බව, සිල්වත් බව, වැඩිහිටියන්ට සැලකීම, බහුශ්‍රැත බව, දහමෙහි යෙදීම, අනලස්බව දියුණුවේ දොරටු ලෙස බුදුරදුන් පෙන්වා දුන්හ. ලෙඩ රෝග සම්බන්ධව ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රයෙන් විවිධ රෝගවලට හේතු වන කරුණු හා ඒ පිළිබඳව ප්‍රත්‍යවෙක්ෂා කළ යුතු අයුරු දේශනා කළ සේක. පිරිත් සූත්‍ර දේශනා කළේ ලෙඩ රෝග සුවකර ගැනීමට නම්, බුදුන් වහන්සේට ජීවක වෛද්‍යවරයා අවශ්‍ය වන්නේ නැත. මහා කාස්සප තෙරුණට හා මුගලන් තෙරුණට බුදුන් වහන්සේත්, බුදුන් වහන්සේට චුන්ද තෙරුන් ද දේශනා කළ "බොජ්ඣංග පිරිතෙන්" වේදනාබාධ සංසිඳුණු බව බණ පොතෙහි සඳහන් ය. සප්ත බොජ්ඣංගය යනු භාවනානුයෝගියකු තුළ අන්තර්ගත විය යුතු ධර්ම ස්වභාවයන් ය. සති, ධම්ම, විවය, වීරිය, පස්සද්ධි, පීති, සමාධි හා උපේක්ඛා යන අංග තුළ භාවනා මනස ඇති යෝගාවචර තෙම ධ්‍යානගත වීමෙන් රෝගාබාධ මර්ධනය වී යයි, අද ද භාවනාවෙන් සුවපත් වීමට අන්‍ය ආගමිකයෝ ද බුදු දහම (භාවනාව) සොයා පැමිණීම අපි දකිමු.

නමුත් කළ යුතු බොදු පිළිවෙත වූ 'භාවනාව' පසෙක තබා සම්බුදු පිරිත් දේශනා යන්ත්‍ර මන්ත්‍ර කොට ක්ෂණික සුවය හා ක්ෂණික දියුණුව ලබන්නට සිතීම විහිළුවකි. ආර්ථික දියුණුවට, සාර්ථක විවාහ දිවියකට, අධ්‍යාපනය පිහිටීමට වැනි කරුණු සඳහා ද වූ සම්බුද්ධ දේශනා කොතෙකුත් ඇත. එලෙස මෙලොව දියුණුව ද පෙන්වාලන මෙවන් උත්තරීතර සම්බුදු දහමක් පසෙක ලා තවත් සමහරු අදෘශ්‍යමාන දේව බැල්ම ලබාදෙන බවට සහතික වන ස්ථාන කරා ඇදෙත්. සම්බුදු දහමේ ඉහත සඳහන් සූත්‍ර දේශනා පරිදි දිවිමඟ ගොඩ නඟාගන්නාට දෙවියන් පවා නමදින බවත්, එසේ වන්නේ එවැන්නන් වෙත දේව බැල්ම ලැබී ඇති හෙයින් බවත්, හොඳින් දන්නා බොදුනුවන් ද පලතුරු වට්ටියකින් දෙවියන්ගේ බැල්ම ලබන්නට සිතීමේ බෞද්ධකම කුමක්ද ? පලතුරු ටිකට වඩා මිනිසුන් විසින් අනුමෝදන් කරවන පින් දෙවියන් විසින් අගය කරන බව මොවුන් නොදැනීම කණගාටුවකි.

අනුමෝදන් කරවීමට පින් තිබිය යුතු ය. "මෙත් භාවනාව" ඉන් එක පිනකි. "දේවතා රක්ඛන්ති" හෙවත් දෙවියන් විසින් ඔහු රකිනු ලැබීම මෙත් භාවනාවෙහි ආනිශංසයකි. සීලය ද එවැනි පිනකි. සක්දෙවිඳු ද සිල්වත් ගෘහස්තයින් වඳින බව "යේ ගහට්ඨා පුඤ්ඤාතරා ... " යන ගාථාවෙන් ප්‍රකාශ වේ. අප විසින් පතනු ලබන ආයුෂ, වර්ණ, සැපය, බලය, ප්‍රඥා ආදිය ලබනට යාඥා කළ යුතු නැති බවත්, කළ යුත්තේ ඉහත කී දාන, සීල, භාවනා ආදී පිළිවෙත්හි පිහිටීම බව බුදුරදුන් වදාළහ.

පින පිළිබඳ යථාවබෝධය

පින පිළිබඳ ද යථාවබෝධයක් තිබිය යුතු ය. නිදසුනක් ලෙස බුදුන් සරණ යාම පිනකි. නමුත් වචනවලින් "බුද්ධං සරණං ගච්ඡාමි" යනුවෙන් බුදුන් සරණ යාමම පිනක් වන්නේ නැත. එය පොරොන්දුවක් පමණි. එය ඉටු කළ යුතු ය. එය කළ හැක්කේ බුදුන්, දහම් සහ සඟුන් ගත් මඟ අනුව යාමෙන් හෙවත් ධම්මානු ධම්ම පිළිවෙතිනි. ඒ සඳහා තෙරුන් කෙරෙහි විශ්වාසයක් (ශ්‍රද්ධාව) තිබිය යුතු ය. ශාසනික ප්‍රඥාවේ ආරම්භය එයයි. මහනාම ශාක්‍යයන් විමසූ "උපාසකයකු සිල්වතෙකු වන්නේ කෙසේ ද ?" යන්නට බුදුන් වහන්සේගේ පිළිතුර වූයේ "යථෝ ඛෝ මහානාම උපාසකො පාණාතිපාතා පටිවිරතෝ හෝති – අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසුමිච්ඡා චාරා... ආදි ලෙසින් සතුන් මැරීම, සොරකම් කිරීම ආදි පස්පවින් වැලකී "පංචසීලයෙහි" පිහිටීමෙන් සිල්වතෙකු වන බව ය.

ඒ වනාහි සිල්වතෙකු වීමේ බොදු පිළිවෙතෙහි ආරම්භයයි. පංචශීලය මෙන් ම ප්‍රාතිමෝක්ෂ සංවරාදි චතු පාරිශුද්ධි සීලයන්, ආර්යකාන්ත සීලයක් වූ විට එවැනි සුසිල්වතුන් දෙවියන් විසින් නිබඳවම රැකෙන්නේ ය. එසේ ම දෙවි පිහිට පැතීමට පෙර, තමන් විසින් කළ යුතු දෑ සම්පූර්ණ කර ඇත්දැයි සිතිය යුතු ය. නිදසුනක් ලෙස විභාගයෙන් සමත්වීම පිළිබඳව ගෙන බලමු. ශිෂ්‍යාගේ පැත්තෙන් සිදුවිය යුතු ඉගෙනුම සම්බන්ධ ක්‍රියාකාරකම් කිසිත් නොමැති නම් දෙවිපිහිටෙන් ලද හැකි ප්‍රතිඵලයක් නොවේ. සුතා (හොඳින් ශ්‍රවණය කිරීම) දතා (ධාරණය කිරීම), පරිචිතා (ප්‍රගුණ කිරීම) මනසානු පෙට්ඨිතා (විමර්ශනය කිරීම) ආදී වශයෙන් ඉගෙනුම් කළ යුතු සැටි බුදුරදුන් පෙන්වා දුන්හ. අන්ගුත්තර නිකායේ සංගාරව සූත්‍රයෙහි' සංගාරව නම් තරුණයා විමසූ වේද මන්ත්‍ර මතකයට නැඟීමේ ක්‍රමවේදයට ථීන මිද්ධය, (අලසකම) ව්‍යාධිපාදය (තරහව) කාමසිතිවිලි දුරු කිරිම ආදී වශයෙන් වදාළ කරුණු ද ඇත.

යමෙකු ගේ අපල වැළකීමට භූමිය හැර විදෙස් ගතවීමේ පිළිවෙතක් ඇතැම් ශාස්ත්‍රඥයෝ පෙන්වා දෙත්. බුදුන් වහන්සේ දෙසුයේ ඊට වෙනත් දෙයකි. එනම් "යස්ස පාපං කතං කම්මං කුසලේන පිඨියති" යනුවෙන් පාපයක් ඇත්නම් එය කුසලයකින් වසන ලෙස ය" එසේ නොමැතිව මහ සයුරු තරණය කොට විදෙස් ගතවීමකින් පෙර කළ පවකින් ගැලවිය හැකි නොවේ. අපල යනු තමන් විසින් කර ඇති පවක ඵල දීමකි.

නඅන්තලික්ඛෙ නසමුද්ද මජ්ජේ – 
නපබ්බතා නන් විවරං පවිස්ස
නවිජ්ජති සෝ ජගතිප්ප දේසෝ - 
යත්තිට්ඨි තෝ මුජ්ජ්‍යෙය පාප කම්මං

යන ධම්ම පදයෙන් අහසේ සිටියත්, මුහුදේ සිටියත්, පර්වත ගුහාවක සිටියත් කිසිවෙකු කළ පාපයක් වේ නම්, විපාක දීමට තමා වෙත පැමිණෙන බව බුදුරදුන් වදාළ සේක. මහා රහත් මුගලන්, චක්ඛුපාල හා ලෝසක ;තරවරුන්ට පවා පාප කර්ම පළ දුන් අයුරු බණ පොත අපට පෙන්වයි. උන්වහන්සේලා එම විපාකදීම්වලින් මිදුනේ රහත් බව නැමැති කුසලයෙන් (කෞෂල්‍ය) එම පව් වැසීම නිසා ය. බෞද්ධයන් විසින් අවබෝධ කළ යුතු හා සේවනය කළ යුතු වූ මෙවන් පරම සත්‍ය වූ දහමක් තිබිය දී ශාස්ත්‍ර බැලීම් වැනි හින්දු ආකල්ප, චාරිත්‍ර හා පිළිවෙත් අනුගමනය කරන්නා බෞද්ධයකු නොව හින්දු බැතිමතෙකු වන්නේ ය. යමක් කරන්නන් වාලේ කිරීම නොව විචාරවත්ව, විමර්ශනාත්මකව හා බුද්ධි ගෝචරව කිරීම බොදු පිළිවෙත වේ. ඇත්ත ඇති සැටියෙන් දැක්ම "සම්මා දිට්ඨිය" වේ. මිච්ඡා දිට්ඨියෙහි පිහිටන්නාට බුද්ධ දේශනාව අනුව කිසිදාක නිවන් මඟ දැකිය නොහැකි ය.

වත්මන් බෞද්ධයා

ධනය, බලය හා නිලය පමණක් නොව බුද්ධිමය දේපළ පවා වංචනිකව ලබාගෙන ලොව මුලා කරන පිරිසක් ද අද බිහිව ඇත. අදක්ෂ සිසුවකු ගේ නමින් පෙනී සිට විභාගයට පිළිතුරු ලියා තම බුද්ධි මහිමය මුදලට විකිණීමට තරම් අප රට සිසුන් ද මුදලට නතුව ඇත. එලෙස වංචනිකව පිළිතුරු ලියවාගෙන විභාග සමත් වන්නන් ද උගතුන් ලෙස පෙනී සිට සමාජයට කරන සේවය, අර්ථචර්යාව කුමක් ද? එවැනි ගුරු පිරිසක් වෙතොත් අසරණ වනුයේ රටේ සිසු පරපුරය. මෙවැනි අයථා ලාභ, අයථා බල හා අයථා සාරුඵ්‍යයන් බුදුන්වහන්සේ ප්‍රතික්ෂේප කළ බවත් යථා ලාභ, යථා බල හා යථා සාරුඵ්‍ය යන යථා ලාභ සන්තුෂ්ටිය බොදු පිළිවෙත බවත් වත්මන් බෞද්ධයාට අමතක වූ සේ ය.

වසර 45ක් පුරා පරිනිර්වාණ මොහොත දක්වා ම බුදු සිරිතේ සුවිශේෂ ලක්ෂණය වූයේ පරාර්ථචර්යාවයි. එක් අයෙකු ගේ අධිගමනය වෙනුවෙන් බුදුන් වහන්සේ යොදුන් ගණන් මඟ පා ගමනින් වැඩි අයුරුත්, පිරිනිවන් මංචකයේ පවා පරාර්ථචර්යාවෙ හි පිහිටි අයුරුත් අපි බුදු සිරිතේ දැක ඇත්තෙමු. අද ලොව ගිලගෙන ඇති ආත්මාර්ථය සිඳ බිඳ දමා 'පරාර්ථචර්යාව' නම් වූ බොදු පිළිවෙත ගොඩනැංවීමට මේ සම්බුද්ධත්ව ජයන්තියේ දී වත් ක්‍රියා කළ මනා ය.


--


                    ඔබ සැමට තෙරුවන් සරණයි ! ! !
                         -------------------------------------------------------------
                              
                      

                        
Niroshan Fernando


__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
MARKETPLACE

Get great advice about dogs and cats. Visit the Dog & Cat Answers Center.


Stay on top of your group activity without leaving the page you're on - Get the Yahoo! Toolbar now.

.

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive