Tuesday, May 17, 2011

[Yahalu-Yeheli] ලක්දිව වෙසක් උත්සව පුරාණය

 

ලක්දිව වෙසක් උත්සව පුරාණය

ශ්‍රී ලංකාව වූ කලි ලොව ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලත් පෙරදිග ලෝකයේ සුවිශේෂී රාජ්‍යයෙකි. ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ සංස්කෘතික හර පද්ධතීන් ප්‍රමාණවත් පසුබිමක් යටතේ ස්ථාපිත වූයේ, ක්‍රි.පූ. 3 වන සියවසේ දී නොහොත් බුද්ධ වර්ෂ 236 දී සිදු වූ මහින්දාගමනයෙන් පසුවයි. එබැවින් බුදු සමයේ බලපෑම මත එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය විය. තත්කාලීනව පැවැති සමාජගත අභිචාරවිධි ආදී සියල්ලක් ද අනුක්‍රමයෙන් වෙනස් මගකට අවතීර්ණ විය. බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගත වූ ජනතාව ආගමික උත්සව පැවැත්වීම කෙරෙහි ද වැඩි රුචිකත්වයක් දැක් වූහ.

පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක් වන වෙසක් උත්සවය ශ්‍රී ලාංකේය බෞද්ධයනට අන්හැම උත්සවයකටම වඩා වැදගත් ය. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අවස්ථාත්‍රය සිහිකිරීම් වස් මැයි මාසයේ දී මෙම වෙසක් උත්සවය පැවැත්වෙයි. වෙසක් මගුල අතිපුරාණ බෞද්ධ උත්සවයක් බවත්, ආදි කාලයේ පටන් ඉන්දියාවෙහි පවා පැවැත්වුණ බවත්, චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවලින් හෙළි වෙයි.

පුරාතන ශ්‍රී ලංකාවේ පැවැති වෙසක් උත්සවයක් පිළිබඳ ප්‍රථම වාර්තාව මහාවංසයෙහි හමුවන්නේ දුටුගැමුණු (ක්‍රි.පූ.101 - 77) රාජ්‍ය සමයේ දී ය. දුටුගැමුණු රජු වෙසක් උත්සව විසි හතක් පැවැත් වූ බව එහි කියවෙයි. ඓතිහාසික ලිඛිත වාර්තා නොමැති වුව ද , වෙසක් උත්සවය එයට කලින් ද පැවැත්වුණු බව විශ්වාස කළ හැකි ය. දේවානම් පියතිස්ස රජු වෙසක් උත්සවය සිදු කරන්නට ඇතැ යි, පිළිගත හැකි ය. එබැවින් බෞද්ධ ලංකාවේ වීරයා වූ දුටුගැමුණු රජු වෙසක් උත්සවය යළි පිහිටුවා පෙරටත් වඩා විචිත්‍ර අන්දමින් පැවැත් වූ බව සිතීම යුක්ති සහගත ය. දුටුගැමුණු රජුගෙන් පසු තවත් බොහෝ රජවරු වෙසක් උත්සවය අඛණ්ඩව පැවැත්වූහ. භාතිය රජු (ක්‍රි.ව. 38 - 67) වෙසක් උත්සව විසි අටක් සිදු කළේ ය.

බුද්ධ රූපය තනා රථයක තැන්පත්කොට වීථි සංචාරය කරමින් පැවැත්වූ මෙම උත්සවයේ දී දුගී මගී යාචකාදීන්ට කෑම් බීම් දීමේ සිරිත ද පැවැතිණි. වසභ රජු ද (ක්‍රි.ව. 127 - 171) ඔටුනු පලන් වර්ෂයේ පටන් ම පිළිවෙළින් වෙසක් උත්සව විසි හතරක් කර වී ය. වෝහාරතිස්ස රජු ද (ක්‍රි.ව. 269 - 291) වෙසක් උත්සවය සිදුකොට ලක්දිව සියලු භික්ෂූන්ට තුන් සිවුරු පිදී ය. එමතු නොව ගෝඨාභය රජු ද (ක්‍රි.ව. 323 - 333) ජෙට්ඨතිස්ස රජු ද (ක්‍රි.ව. 611 - 617) දල්ලමොග්ගල්ලාන රජු ද (ක්‍රි.ව. 851 - 885) 2 වන සේන රජු ද රටවාසීන් හා එක්ව මහත් හරසරින් වෙසක් උත්සවය පැවැත් වූ බව සඳහන්ව තිබේ.

වෙසක් උත්සවය රාජානුග්‍රහය මත වර්ෂයක් පාසා ම අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම කෙරෙහි පූර්වෝක්ත රජවරුන් උත්සාහ ගෙන ඇත. මේ අනුව රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් විශාල ප්‍රමාණයක් ද , වෙසක් උත්සවය සඳහා වෙන් කෙරිණ. රාජ්‍ය චාරිත්‍රයක් ලෙස සෑම රජ කෙනෙකුගේම අනිවාර්ය ධර්මතාවක් වූ මෙය පොළොන්නරු යුගය වනවිට තවතවත් දියුණුවට පත් විය. දඹදෙණි යුගයේ පැවැති ඉතා චමත්කාරජනක වෙසක් උත්සවයක් පිළිබඳ වාර්තාවක් "පූජාවලිය" තුළින් හමු වෙයි. ඒ මෙසේ ය.

" එ දවස් මේඝ රාජයාණන් හස්තිරූප ව්‍යාජයෙන් බුදු මගුලට බැස මිහි මඩලෙහි ඇවිදිනා සේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් ඇවිඳිනා හස්තිරූප පංක්තීන් හා පූජා ලෝලීන් දිවූ සමුද්‍ර රාජයා ගේ මහ රළ පෙළ සේ ඒ ඒ දිග්හි යන්ත්‍ර බලයෙන් දිවන අශ්වරූප පංක්තීන් හා බුදුන් ගේ මහා මංගල්‍යයෙහි අලංකෘත වූ පූජාවෙන් වෙහෙර සරසා සහස් සුවහස් ගණන් සංඝයා හා මුළු ලක්දිව සියලු මනුෂ්‍ය සේනා රැස්කොට වෙහෙර සිසාරා ගවු ගවු මානයෙහි පූජා පෙළහරින් සිටගත් මනුෂ්‍ය සේනාවම අතුරු නොදී සිටිනා සේ නියෝග කොට...."

මෙම වෙසක් උත්සවය සිදු කරනුයේ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු ගේ (ක්‍රි.ව. 1250 - 1285) මූලිකත්වයෙනි. ඒ තුළින් වෙසක් උත්සවයක තිබිය යුතු සියලුම අංගෝපාංග ප්‍රකාශ වෙයි. එබැවින් මෙය පුරාතනයේ පැවැති වෙසක් උත්සවයක නියම ස්වරූපය යැයි, නියත වශයෙන්ම පැවසිය හැකි ය. මෙහි "බුදු මගුලට බැස" යනුවෙන් සඳහන් ව ඇති බැවින් වෙසක් උත්සවය සඳහා "බුදු මගුල" යන්න යොදා ඇති බැව් පැහැදිලි ය.

නුවර යුගයේ මෙරට පැවැති උත්සව හතරක් ගැන සඳහන් වන අතර එහි පළමුවැන්න වෙසක් උළෙල ලෙස දක්වා ඇත. තව ද වෙසක් උත්සවය පැවැත්විය යුතු ආකාරය දක්වමින් සම්මත නීති මාලාවක් ද එකල පැවැති බව මහා වංසයෙන් තහවුරු වෙයි. වෙසක් උත්සවය ආරම්භ කළ යුත්තේ කෙසේ ද? ආරම්භ කරන්නේ කුමකින් ද? යනු එම නීති මාලාවට අන්තර්ගත වී තිබෙන්නට ඇතැ යි, විශ්වාස කළ හැකි ය.

කෝට්ටේ යුගයෙහි කළ වෙසක් උත්සව ගැන කරුණු විරල ය. බුද්ධ පූජා පැවැත් වූ රජවරුන් රාශියක ගැන සඳහන් වෙතත්, ඒවා වෙසක් උත්සව දැ භ, නිර්ණය කිරීම අපහසු ය. කොළඹ යුගයේ දී ඉතා විචිත්‍ර අන්දමින් වෙසක් උත්සවය සිදු කෙරිණ. මේ තාක් ලංකාවෙහි වාර්ෂිකව වෙසක් උත්සවය සිදු කෙරෙයි. වෙසක් පොහොය දා සිද්ධස්ථාන වැඳීම සඳහා වන්දනාවේ යන සැදැහැවතුන් උදෙසා සංග්‍රහ කිරීම පිණිස යම් යම් පුද්ගලයෝ සමිති වශයෙන් සංවිධානය වී රටපුරා දන්සැල් පවත්වති. තව ද මෙකල සිදු කෙරෙන වෙසක් උත්සවයන් හිදී "වෙසක් තොරණ" හා "වෙසක් පහන්කූඩු" කෙරෙහි ද ඉතා උසස් ස්ථානයක් හිමි වෙයි.


--


                    ඔබ සැමට තෙරුවන් සරණයි ! ! !
                         -------------------------------------------------------------
                              
                      

                        
Niroshan Fernando


__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
.

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive