Saturday, May 14, 2011

[Yahalu-Yeheli] පන්සිල් සුරැකුම හොඳම සමාජ සේවය යි

 

 

2

පන්සිල් සුරැකුම හොඳම සමාජ සේවය යි

කුඩා දරුවකු හැරෙන්නට, පන්සිල් පද ගැන නොදන්නා කෙනකු ඇතැයි සිතිය නො හැකිය. පස්පව් හි මොහොතක ආස්වාදය විඳීමට සිදුවන ආදීනවය හා එයින් වැළැකීම පිළිබඳ ඇසෙන බණ දහම් ද බොහෝය. එහි ආදීනව පිළිබඳ දතයුතු සියල්ල සමාජයට කෙතෙක් විවෘත වුවත්, ඒ හා සම්බන්ධ සාපරාධී ක්‍රියාවල නම් අඩුවක් නැතැයි පොදු පිළිගැනීමක් ද ඇත. බොදු පසුබිම මත කෙරෙන බොහෝ සාමූහික වැඩසටහන් ඇරැඹෙන්නේ පන්සිල් සමාදන් වීමෙනි. එය බොහෝවිට එම වැඩසටහන්වලම අංගයක් ලෙස මිස පන්සිල් රැකීමේ වුවමනාව මත නො කෙරේ. ඉකුත් දා ගුවන් විදුලියෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ බන්ධනාගාරවල තදබදය බලවත් ගැටලුවක්ව පවතින බවයි. මිනිසුන් විසින් කරනු ලබන සියලු වැරැදි පංච පාපකර්ම තුළට අන්තර්ග්‍රහණය කළ නොහැකිවුවද බහුතරයක් ඒ තුළට අයත් වෙයි.

පස්පව් හි ආදීනව ගැන විමසා බලනවිට ඒවායේ යෙදෙන්නන්ට පමණක් නොව සමාජයේ පරිබාහිර අයට ද එය බලවත්ව බලපාන බව පැහැදිලි වේ. පස්පව් හි යෙදෙන පුද්ගලයාට ලැබෙන ආදීනව කර්ම ඵල විපාක වශයෙන් මනා කොට බුදු දහම මගින් දේශිත බව අපි දනිමු. දහමට අනුව බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නේ ඒ පැත්තටය.

එහෙත් සමාජයට බලපාන ආකාරය විමසා බලන විට, පස් පව්හි යෙදීම නිසා අන් අයගේ සුරක්‍ෂිතභාව පුළුල් වශයෙන් බිඳ වැටෙන බව පෙනී යනු ඇත. රටක නීතිය හා සාමය උදෙසා වන රාජ්‍ය ආයතන වන පොලීසිය හා උසාවිය පවතින්නේ මෙම සුරක්‍ෂිතභාව තහවුරු කිරීමටය. එසේ නැතිව පව්කම්හි යෙදෙන්නාට ලැබෙන කර්ම විපාකවලින් ඔහු ආරක්‍ෂා කිරීමට නොවේ.

කුමන හේතුවක් නිසා හෝ ප්‍රාණඝාතයක යෙදෙන්නා කරන්නේ කුමක්ද ? තවත් මිනිසකුගේ හෝ වෙනත් සත්වයකුගේ හෝ ජීවත්වීමේ අයිතිය නැති කිරීමයි. පස්පව්හි මුලටම ප්‍රාණඝාතය යෙදි ඇත්තේ එයින් මනුෂ්‍යයාගේ පමණක් නොව සමස්ත සත්ව සංහතියේම මූලික අයිතිවාසිකම හා කැමැත්ත වන සිය ජීවිතය පවත්වාගෙන යෑමේ අයිතිය එමගින් අහෝසි කෙරෙන බැවිනි. ඒ අනුව ප්‍රාණ ඝාතයෙන් වැළකී සිටීම යනු ආදීනව වශයෙන් තමන්ට ලැබෙන කර්ම විපාකවලින් අත්මිදීම පමණක් නොව, සියලු සත්වයන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමක් ද වෙයි. අංක එකේ සමාජ සේවය එය නොවේද ?

තමාගෙන් පරිබාහිර වූ කෙනෙකුගේ ප්‍රයෝජනය, යහපත හා සැපය පිණිස තිබූ දෙයක් සොර සිතින් ගෙන ඒ තැනැත්තාගේ සන්තකභාව අහෝසි කිරීම අදත්තාදානයයි. සොර සතුරු බිය නැති කෙනකු සමාජයේ නැති තරම් ය. සොරුන්ගෙන් ආරක්‍ෂාවීම සඳහා අපි බොහෝ වෙහෙසක් දරමු. පෞද්ගලික හා රාජ්‍ය ආයතන මේ සඳහා විශාල මුදලක් වැය කරයි.

සමාජ සදාචාර සම්මුති ඉක්මවා වැරැදි ලෙස කාම සේවනයෙහි යෙදීම කාම මිථ්‍යාචාරය යි. තෙවැනි සිල්පදය රැකීමට අසමත් බිරින්දෑවරුන් නිසා ඔවුන්ගේ ස්වාමිවරුන් ද, එසේම එබඳු ස්වාමිවරුන් නිසා ඔවුන්ගේ බිරින්දෑවරුන් ද කෙතරම් දුක් කරදර විඳී ද යන්න අමුතුවෙන් විස්තර කළයුතු නැත. මහ මග ගියත් ගෙදර සිටියත් තෙවැනි සිල්පදය නොරැකෙන තැන කිසිවකුට හෝ සැනසීමක් නැත.

බොරුකීමෙන්, එනම් මුසාවාදයෙන් සෙස්සන් මුළා කිරීම බලවත් පාප කර්මයකි. එහෙත් බොහෝ අයට මේ පාප කර්මය පිළිකුලක් නැතිව කළ හැකි විනෝදාංශයකි. සත්‍ය යටපත් කොට පුද්ගලයා නොමග යවන බැවින් බොරු කීම සමාජයට තදින් බලපාන අහිතකර ක්‍රියාවකි. බොරු කියන්නාට නොකළ හැකි වරදක් නැත. කළ වරද, බොරුවෙන් වැසිය හැකියැයි ඔහු සිතන බැවිනි.

මිනිස් මනැසෙහි ප්‍රකෘති ස්වභාව විකෘති වී මිනිසුන් නො මිනිසුන් බවට පත් කරවන සුරාපානය, මත් ද්‍රව්‍ය භාවිතය ආදිය නිසා පවුල තුළ, සමාජය තුළ නොයෙකුත් ගැහැට ඇති කරයි. ඒ ගැන අමුතු විස්තර අවශ්‍ය නැත. බීමත්ව හැසිරෙන අය දකින අන් අය තුළ ඇතිවන්නේ කරුණාවක්, මෛති‍්‍රයක් නොව පිළිකුලකි. පිළිකුල යනු ද්වේශ මූලිකය. ඒ අනුව සුරාපානය කරන්නන් විසින් අන් අය තුළ අකුසල සිත් ඇති කරවනු ලබයි. මෙය අපට නො පෙනෙන පැති කඩකි.

මේ අනුව පංච පාප කර්මයන්හි යෙදෙන්නන් විසින් බාහිර සමාජයට එල්ල කරනු ලබන තර්ජනය හා ඇති කරන ව්‍යසනය අතිවිශාල පරාසයක විහිදී පවතින බව මනාව පෙනී යනු ඇත. පස් පවින් වැළැකී අන් අයගේ ස්වාධීනත්වයට, යහ පැවැත්මට උපකාර කිරීම විශාල සමාජ සේවයකි. එක් අතකින් බලනවිට කෙනකුට කළ හැකි ලොකුම පරෝපකාරයක් ලෙසද එය හැඳින්විය හැකිය.

මීළඟට, කෙනෙක් පස් පවින් වැළැකී සිටීමට හේතු පාදකවන කාරණා කෙබඳු ද යන්න විමසා බලමු. ඒවා මෙසේ ගොනු කරගත හැකිය.

1. රාජ්‍ය නීතිය අනුව, වරදට ලැබෙන දඬුවමට බියෙන්

2. අන් අයගේ අපවාදයට, නින්දාවට ලක්වීමට නො එසේනම් තමාගේ තත්ත්වයට, ගරුත්වයට කැළලක් ඇති කර ගැනීමට බියෙන්.

3. තමාගේ අනාගත අභිවෘද්ධියට බාධාවක් වේය යන බියෙන්.

4. අන් අයට කරදරයක් පීඩාවක් වනු දැක්මට ඇති අකැමැත්ත නිසා (මෙය ආගමික පසුබිමක් මත මෙන් ම සමාජ සදාචාර ශික්‍ෂණයක් නිසාද විය හැකිය)

5. දිට්ඨධම්මවේදනීයව මේ භවයේම දුක් විපාක විඳින්නට සිදුවේය යන බියෙන්

6. මරණින් මතු දුගතිගාමී වී දුක් විඳින්නට වේය යන බියෙන්.

7. ඉන්ද්‍රිය සංවරයෙන් අවබෝධාත්මකව හික්මුණු හා දමනය වුණු (සුසිල්වත්) සතර බ්‍රහ්ම විහරණයෙන් ඔපවත් වූ අධ්‍යාත්මයක් තිබීම නිසා.

මේ අයුරින් දැක්විය හැකි තවත් කාරණා ඔබට ද යෝජනා කළ හැකි වනු ඇත. මේවායින් බොහොමයක් ම බිය සම්ප්‍රයුක්තය. තාවකාලිකය. නිවැරැදි හික්මීම නොමැත්තේ අවස්ථාව එළැඹි කල්හි වරදෙහි යෙදීමට ඉඩ තිබේ. ඉහත අවසනට සඳහන් කළ, ඉන්ද්‍රිය සංවරයෙන් මනාව ශික්‍ෂණය වූ තැනැත්තාට බියවීමට කරුණක් නැත.

බුදුරජාණන් වහන්සේ එවන් අයකු හඳුන්වා ඇත්තේ බ්‍රාහ්මණයකු ලෙසය. (ධම්ම පදය බ්‍රාහ්මණ වර්ගය, 9 ගාථාව) සිල්වත්, ගුණවත් තැනැත්තාට සක් දෙවිඳු ද නමස්කාර කරන බව සක්ක නමස්සන සූත්‍රයේ දැක්වේ. එහෙත් පස්පව්හි නො යෙදෙන්නන් සියල්ලම මේ කාණ්ඩයට අයත් නො වන බව ඉහත කරුණු අනුව පෙනී යනු ඇත.

රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරී ඇති රාජ්‍ය ආයතනය පොලීසිය යි. මානව අයිතියට එරෙහිව ක්‍රියාකරන්නන්, සාධාරණ හා අපක්‍ෂපාතී යුක්ති සහගත විනිශ්චයකින් වැරැදිකරුවන් වූ විට ව්‍යවස්ථාපිත අධිකරණ නීතිය යටතේ දඬුවම් පැමිණවීම පිළිබඳ වගකීම පැවැරී ඇති තැන උසාවිය යි. පස්පව් හා සමාජය පිළිබඳ වූ මේ කතාවට මෙකී රාජ්‍ය ආයතන දෙක ඈඳා ගන්නේ කුමකටදැයි කෙනකුට සිතෙන්නට පුළුවන. මේ ආයතන දෙකේ සියලුම රාජකාරී කටයුතු මාස කිහිපයකට අක්‍රීය කර තැබුවහොත් කුමක් සිදුවේද ? මෙය හුදු මනඞකල්පිතයක් යැයි සිතෙන්නට ඉඩ තිබේ. නමුත් එවිට සිදුවිය හැකි දේවල් නම් කල්පිතයක් නොවේ.

රාජ්‍ය නීතිය අනුව, වරදට ලැබෙන දඬුවටම බියෙන් පස්පව්හි නො යෙදෙන්නන් එවිට වහා අවදිවනු ඇත. මනුෂ්‍ය ඝාතන, සොරකම්, මංකොල්ලකෑම්, කලකෝලාහල, කාම අපරාධ, මාර්ග අනතුරු, වංචා දූෂණ ආදී සිදුවීම් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. අප රටේ වැඩියෙන් සිටින්නේ පන්සිල් පද කියවන්නන්ද , නැතහොත් පන්සිල් සමාදන්ව වාසය කරන්නන් ද යන ප්‍රශ්නවලට පිළිතුර එවිට ලබා ගත හැකිවනු ඇත.

පංච සීල ප්‍රතිපදාව යනු අධ්‍යාත්මික සංස්කරණයක ප්‍රතිඵලයක් මිස බාහිර සාධකයක් මත පාලනය වන්නක් නොවන බව බුදු දහම මගින් අවධාරණය කෙරේ. පරිබාහිර හේතුවක් මත වුවද පස් පවින් වැළැකී සිටීම නොවටිනා ක්‍රියාවක් ය යි මෙයින් අදහස් නො කෙරේ. එයිනුදු සමාජ සංරක්‍ෂණයක් සිදු වෙයි. එහෙත් බුදු දහමේ දැක්වෙන පිළිවෙත නම් හුදෙක් තමා විසින්ම තම කය, වචනය හා සිත දමනය කරගනු ලැබීමයි. එහි ආසන්නතම ප්‍රතිඵලය පන්සිල් සුරකින දැහැමි සමාජය යි.

ලෝකයේ මුලින් ම වරදට දඬුවම නියම කෙරුණු ආකාරය දක්නට ලැබෙන්නේ චක්කවත්ති සීහනාද සූත්‍රයේ ය. එම වරද සොරකම වූ අතර රජු විසින් දෙන ලද දඬුවම ලෙස සඳහන්ව ඇත්තේ දැඩි රැහනෙන් පිටිතල හයා බැඳ, දැලි පිහියෙන් හිස මුඩු කොට වීදියෙන් වීදියට, මංසන්ධියෙන් මංසන්ධියට ගෙන යෑමෙන් අනතුරුව හිස ගසා දැමීමයි. නමුත් එමගින් සොරකම පාලනය වී නැති අතර, ඒ කරණකොටගෙන අනෙකුත් දස අකුසල ධර්මයන් ද පහළ වූයෙන් මිනිසා ආයුෂයෙන් පිරිහී ගිය බව සූත්‍රයේ දැක්වේ. ඒ අනුව රාජ්‍ය නීතිය අනුව සකස්වුණු දඬුවම සමාජ සංරක්‍ෂණයට සැබෑම විසැඳුම නොවන බව පැහැදිලි වෙයි.

එනිසා සමාජයේ යහ පැවැත්මට අවශ්‍ය වන්නේ නීතියට, විපාකයට බිය නිසා පවෙන් වැළැකෙන්නන්ට වඩා, මෙත්තා, කරුණා, මුදිතා ගුණ වැඩුණු, ඉන්ද්‍රිය සංවරයෙන් හික්මුණු, පාපය පිළිකුල් කරන, පිළිවෙතින් පෙළ ගැසුණු මිනිසුන් ය. ධන ලාභ සඳහා ඕනෑම පාප කර්මයක් කිරීමට මෙන්ම, ලාභ, කීර්ති, ප්‍රශංසා හා ප්‍රසිද්ධිය සඳහා ඕනෑම මිථ්‍යාවක් සමාජගත කිරීමට ද මැලි නොවන අය මගින් සමාජ සංරක්‍ෂණයක් සිදු නොවේ. තමාට මෙන්ම අන් අය කෙරෙහි ද කරුණාවක් දයාවක් දැක්වීමට කැමැත්තේ නම්, කෙනකුට කළ හැකි විශිෂ්ටතම දෙයක් වන්නේ පංච පාප කර්මයන්ගෙන් වැළැකී සිටීමය. හොඳම සමාජ සේවය ද එයයි.


--


                    ඔබ සැමට තෙරුවන් සරණයි ! ! !
                         -------------------------------------------------------------
                              
                      

                        
Niroshan Fernando


__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
MARKETPLACE

Stay on top of your group activity without leaving the page you're on - Get the Yahoo! Toolbar now.


Get great advice about dogs and cats. Visit the Dog & Cat Answers Center.

.

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive